Thursday, October 17, 2013

ජනකවි සාහිත්‍යය

ජනකවිය අප රටේ ඉතා ජනප්‍රිය ජනශ්‍රැතිය වේ. අප අතර දැනට භාවිත වන ජනකවිවල ආරම්භය කවදා කෙසේ ඇති වූවක්‌ දැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකිය. එබැවින් ජනශ්‍රැතිවේදීහු මේ පිළිබඳව නිහඬතාවක්‌ දැක්‌වූහ.

සිංහල කවියේ ආරම්භය දෙස විමසා බලනවිට ශාස්‌ත්‍රීය ග්‍රන්ථකාරණයෙන් නොහොත් ලේඛනයෙන් නිමවුණු පණ්‌ඩිත කවියට වඩා ජනකවිය ඉපැරණි යයි විශ්වාස කරනු ලැබේ. උගත් සාහිත්‍යයක්‌ පහළවීමට පෙර ජනකවිය සහ ජනකතා පහළවීම ස්‌වභාවික බවට විචාරකයෝ ඒකමතිකව වෙති.

විශේෂයෙන් සිංහල කවියේ ඉතිහාසය විමසන්නෙකුට පෙනී යන්නේ පොත පතේ ලේඛන ගතව ආ ශාස්‌ත්‍රීය කවියට වඩා කටින් කට ජනශ්‍රැතියේ ආ ජනකවිය පුරාණවන බවය. උගතුන්ගේ නිර්මාණයක්‌ වූ ශාස්‌ත්‍රිය කවි, පොත පතේම රැඳිණ. ජනකවිය රැදුණේ සහ රැකුණේ පිටිසර පාරම්පරික ගැමියන්ගේ මුඛ වහරෙහිය. අප විසින් එය ජනශ්‍රැතිය නමින් හඳුන්වනු ලැබේ.

එළිසම සිව් පදයේ ආරම්භකයා ජනකවියා වෙයි. සිව්පද (ජනකවිය) උපත දෙවියන්ගෙන් ලැබුණු වරමක්‌ද දී සියල්ලම දෙවියන් විසින් මවන ලදැයි යන පාරම්පරික උපන් කතා ජනකවියටද ආදේශ වී ඇත්තේය.

1. ඉරේ කොනට වැන්දා ඔන්න ගිරවියේ
සඳේ කොනට වැන්දා ඔන්න සාවියේ
මලේ කොනට වැන්දා ඔන්න බමරියේ
සිව්පද උපත අහපන් භූම දේවියේ

ඒ ජනකවියා සිව්පද වරම් අපේක්‌ෂා කරන්නේ මිහිකත් දෙවියන් (භූමදේවී) ගෙනි. එසේ වරම් ලබන ජනකවියා සිව්පද ඉදිරිපත් කරන්නේ මිහිකත් දෙවියන්ටමය.

2 ඉරේ රුවට ඉරවට කෙළින ගිරවියේ
සඳේ රුවට සඳවට කෙළින සාවියේ
මලේ රුවට මලවට කෙළින බමරියේ
සිව්පද උපත අහපන් භූම දේවියේ

සිව්පද උපත යන වදන ජනකවියා ගේ මුවින්ම ගිලිහුණු අවස්‌ථාවකි මේ. සිව්පද උපත නොහොත් ජනකවි උපත සොයන්නටත් ජනකවියා විසින්ම සමච්චලයට ලක්‌කළ අවස්‌ථා ජනකවියෙන්ම හෙළිවේ.

3. අහස උපන් තැන සකි නුඹ දන්නවද
පොළව උපන් තැන සකි නුඹ දන්නවද
මුහුද උපන් තැන සකි නුඹ දන්නවද
සිව්පද උපන් තැන සකි නුඹ දන්නවද

ජනකවියකු විසින්ම නගනු ලැබූ පැනයට තවත් ජනකවියෙකුගෙන් ලැබුණු පිළිතුරක්‌ වූයේ ජනකවිය වීණාවෙන් උපන් බවයි.

4. අහස උපන් නේ අස්‌විදයෙන් නොවෙද
පොළව උපන්නේ පුවපුට නොවෙද
මුහුද උපන්නේ මුව සිරියෙන් නොවෙද
සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද

වීණාව පන්සිළු (පඤචසිඛ) ගේ නිර්මාණයක්‌ ලෙස සැලකේ. වීණාවෙන් සත්සර නද පැතිරෙන බැවින් ගීත රාවයෙන් යුත් සිව්පදයද වීණාවෙන්ම උපදින්නට ඇතැයි ඒ ජනකවියා විශ්වාස කළේය. ඒ අනුව ජනකවිය ද පන්සිළු සේම නිර්මාණක්‌ වූයෙන් සිව්පද උපතට දේවත්වය ආරෝපණය විය. තවත් ජනකවියෙකුගේ විශ්වාසය ද එයම විය.

5. ගාල සක්‌වලේ වැසි පවනේ දෙවිදා
දහසක්‌ විලේ හැම දෙවියෝ එක්‌ වුනදා
නාද කෙළේ පන්සික වීණාව සදා
සීපද මුලේ වීණාවෙන් උපනි එදා

මෙසේ ජන කවියෙන්ම අනාවරණය වන ආකාරයට ජනකවියේ උපත දෙවියන්ටම භාරකොට නිහඬ වී සිටිය හැකිද?

ජනකවිය පොදු ජන නිර්මාණයකි. එහි උපත සියවස්‌ කිහිපයකට පෙර ජනතාව අතින්ම සිදුවූවකි.

බොහෝ විට එක්‌ කෙනෙක්‌, දෙදෙනෙක්‌, තිදෙනෙක්‌, සිව් දෙනෙක්‌ හෝ පිරිසක්‌ මුල්වී ජනකවියේ උපත පිණිස හවුල් වූ ආකාරය, ජනකවියෙන්ම හඳුනාගැනීමට එතරම් අසීරු නොවේ.

හේනේ පැලේ පැල් රකින්නෙක්‌ අසළ පැලේ පැල් රකින්නා සමග සමීප සබඳතාව තහවුරුකරගත් මාධ්‍යය වූයේ ජනකවියයි.

පද සතරක්‌ ගොතා ගතහැකි තැනැත්තා සිව්පද කියන්නට සමතෙක්‌ වරෙල්ලා යනුවෙන් අනෙකාට ආරාධනා කළේ තමන්ගේ මහන්තත්ත්වය පෙන්වීමටද? අනෙකාටද අභිප්‍රේරණය පිණිස පොළඹවා ගැනීම පිණිසය.

6. ඉර වරිවරි ඉර වරිවරි වලල්ලා
සඳ වරිවරි සඳ වරිවරි වලල්ලා
මල වරිවරි මල වරිවරි වලල්ලා
සිව්පද කියන්නට සමතෙක්‌ වරෙල්ලා

මුල් පද කිහිපයේ අරුතට වඩා ඇත්තේ ජනකවියාට ආවේණික සාම්ප්‍රදායික රිද්මය නොහොත් නාද රටාවයි. සන්නිවේදනාර්ථය සහ අභිප්‍රෙAරණය රැදුණේ අවසාන පදය තුළය. ඒ අනෙකාට කෙරෙන ආරාධනාවයි. අසන්නාද ඊට සාම්ප්‍රදායික රිද්මය ම යොදාගනිමින් ඔහුගේ සිතිවිලි අවදි කළේ මෙසේය. මුල් කවියේ වචන කිsහිපයම යොදාගනිමින් ඊට පිළිතුරු සැපයීමට අවස්‌ථා සමත් වේ.

7. ඉර වරිවරි ඉර වරිවරි වළලු නැතී
සඳ වරිවරි සඳ වරිවරි වළලු නැතී
මල වරිවරි මල වරිවරි වළලු නැතී
සිව්පද කියන්නට සමතෙක්‌ මෙහේ නැතී

සිව්පද කියන්නට සමතෙක්‌ නැති බව ඔහු සිව්පදයකින්ම ප්‍රකාශ කළේ, තමන්ගේ පුළුවන්කම අනෙකාට ද වනිත කරවමිනි.

තමන් ඇසූ දුටු පුවතක්‌ අනෙකා ඇසූ නොඇසු ආකාරයෙන් සන්නිවේදනය කිරීමේ අරුතිත් එක්‌ පුද්ගලයකු අතින් මෙවැනි ජනකවියක්‌ නිර්මාණය විය හැකිය.

8. අම්බලමේ පිනා
වළං කඳක්‌ ගෙනා
ඒක බිඳපු ගොනා
ඒකට මට හිනා

මේ ඒ සඳහා ඉතා සරල නිදසුනකි. ජනකවියා ඉතා කෙටි සරළ වදන් කිහිපයකින් දිගු කතාවක්‌ අපට කියයි. ජනකවියා කියන කතාව රූපවාචකය දෘෂ්ටි ගෝචරය. ඇසෙන දෙය සමග පෙනෙන දෙයක්‌ ද ඇත. එය අපට පෙනෙන සේ, අප ඉදිරියේ දීම සිදුවූවක්‌ බවට අද්දැකීමක්‌ද අප තුළ ඇතිකරවයි. එය චිත්‍රයට නැගුණු අවස්‌ථාද අප දැක තිබේ. පද කීපය ඇසූ පමණින්ම අපටද එය චිත්‍රණය කළ හැකි සේය.

මේ සිද්ධිය ජනකවි ඉදිරිපත් කරන්නේ ජංගම ස්‌වරයකිනි. නාෙට්‍යාaචිත අවස්‌ථා මවමින්. එකම මොහොතේදී සියල්ලම සජීවී ලෙස සිදුවන ආකාරය අපට පෙනෙන සේය. ඒ සඳහා කවියා උපයෝගිකරගත්තේ කදිම රිද්මයකි.

එළිසමයේ එන "පිනා ගොනා ගොනා හිනා යන වචන සතර දිත්ව කිරීමෙන් ඒ රිද්මය නැගේ. අර්ථය සමග

රැඳුණු ශ්‍රැතිය වස්‌තුවට උචිතය. අර්ථ රසය, ශබ්ද රසයෙන් උද්දීපනය වන ආකාරය පිළිබඳ හැඟීමක්‌ ජනකවියා තුළ තිබුණිද?

අම්බලමේ පිනා පිනා
වළං කදක්‌ ගෙනා ගෙනා
ඒක බිඳපු ගොනා ගොනා
එකට මට හිනා හිනා

ජනකවියාට මෙන්ම අසන්නාටද විශේෂයෙන් මෙය අසන කුඩා දරුවන්ටද මේ සිද්ධිය සිනා පහළ වන පුවතකි.

එහෙත් මේ ජනකවියා සංසාරය දෙස බලා ඇත්තේ බෞද්ධ මනෝවිද්‍යාත්මක චින්තාවකිනි.

වළං කදක්‌ උසුලාගෙන ආ පිනා මඳ විවේකයක්‌ සඳහා අම්බලමක රැඳේ. ඔහු බලාපොරොත්තු නොවූ පරිදි අසල සිටි ගොනෙක්‌ වළං කද වෙත දිවවිත් ඒ වළං පොඩිකර බිඳ දැමුවේ උගේ ගොංකමටය. පිනා ගේ පවටය. මේ අවස්‌ථාවේදී පිනාට ඉමහත් දුක්‌ වේදනාවක්‌ ඇති වුවත් ඒ සිද්ධිය දුටු තැනැත්තා ඉන් ලැබුවේ සතුටකි.

කෙනකුට විපතක්‌ සිදුවූ විට ඒ දෙස බලා සිටින්නා සතුටට පත්විය යුතුද ජන කවියා අනුන්ගේ විපතේදී සතුටුවන්නෙත් පත් නොවේ. දුක ඇතිවූ පුද්ගලයා සමග ඒ දුක බෙදා හදා ගන්නා තැනැත්තෙකි.

ඉහත කී පැනය ජනකවියාගෙන් ඇසිය යුතු එකකි. ජනකවියාට එය සාධාරණීකරණය කළ නොහැකිය. එහෙත් ජනකවියා එම කවිපදයෙන් අර්ථ දෙකක්‌ ගෙනහැර දැක්‌වීමට සමත්විය.

වාච්‍යාර්ථය ඉක්‌මවූ වනිතාර්ථයක්‌ද එහි ඇත. එය වනිතාර්ථය යනුවෙන් හැඳින්වීමට වඩා එහි අර්ථ දෙකක්‌ම දැක්‌වෙන බැවින් උභය භාෂා අලංකාරය යනුවෙන් හැඳින්වීම වඩාත් සාධාරණය.

සිදත් සඟරාවේ ඉෂ්ටානිෂ්ට අධිකාරියේ උභය භාෂා අටකාරය යටතේ දැක්‌වෙන්නේ එක්‌ කවියක දැක්‌වෙන වචන මගින් අර්ථ දෙකක්‌ දැක්‌වෙන ආකාරයයි. ජනකවියා ඒ දැනුම ලැබුවේ සිදත් සඟරා අධ්‍යාපනයෙන් නොවේ. ජීවන තක්‌සලාවෙන් ලත් පාරම්පරික ඥනයෙනි. ජනකවියාගේ පාරම්පරික ඥනය දහම් ගැටයක්‌ දක්‌වා උභය භාෂා අලංකාරයෙන් පෝෂණය වන ආකාරය ඉහත කී (9) ජනකවියෙන් හෙළිවේ.

එහි කියෑවෙන අම්බලම යනු අනෙකක්‌ නොව (එක්‌ අර්ථයකින්) ලෝක සත්වයා සසර දුක ගෙවන මේ කාමලෝකය පිළිබඳ සංකේතයකි. පිනා - යනු ඒ දුකට පාත්‍ර වූ සියලු සත්ත්වයන් නියෝජනය කරන සංකේතයයි. වළං කඳ යනු සත්වයා විසින් සසරපුරා ගෙන ඇවිදිනු ලබන රාග- දේස - මෝහ යනාදි දුක්‌ කරදර පිsළිබඳ සංකේතයයි. චතුරාර්ය සත්‍යය මගින් මේ දුක්‌ ගිනි සියල්ල නිවා නිවන් මඟ අවබෝධකරගනු පිණිස මාර්ගය පෙන්වා දුන් ගො} ගෞතම, නා} නායක වූ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ බව උභය භාෂා අලංකාරයෙන් යුත් දහම් ගැටයක්‌ ලෙසද මෙය හඳුනාගැනීම අපහසු නොවේ.


උපුටාගැනීම කලාසූරී නෝමන් සිරිපාලයන්ගේ ලිපියකිනි.

No comments:

Post a Comment