Thursday, October 17, 2013

කරත්ත කවි


                                          ඈත අතීතයේ ගමන් බිමන් යාම සඳහාත් ,වෙළදාම් කිරීම සඳහාත් ,මංගල අවස්ථා වලදීත් , ගමන් කිරීම සඳහා යොදා ගත්තේකරත්තයයි.දුර කතර ගෙවා ගමන් යන ගැමියන්ගේ වෙහෙස මහන්සිය හා කාන්සිය නිවා ගත්තේ කවි කීමෙනි.මෙසේ කවි කියමින් යන විට දුර නොදැනීම ගෙවී යයි.එමෙන්ම සිතට සතුටක්ද දැනේ.මෙසේ කරත්ත වලින් ගමන් යාමේදී කියන ලද කවි කරත්ත කවි වේ



දුප්පත් කමට ගොන් බැඳගෙන       දක්කනවා
කන්ටත් නැතුව දිව රෑ අපි        වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි     ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක්         වෙනවා

වයිර ගොනා දණ ගහලා                අදිනකොට
මයිල ගොනා පැන්නයි පස්සට             හොරට
මොකද කරන්නේ පූරුවේ කළ                පවට
ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට

බතල කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්ට බැරි අලගලේ කන්ද
හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමණල කන්ද

උපන්නාට මේ ලොව වැනෙනවා විනා
ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා

කළු ගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපි නගින්නේ

බර වැඩියෙන් පටවා කළ වරදට
තඩිබාල දැක්කුවෙ ගොන් ඉස්සරට
වුණ මෙමුලා කියමිද මම දැන් කාට
සුදු වයිරෝ ඇදපන් ගාල ගාවට

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා

No comments:

Post a Comment